Sunday, June 7, 2009

උන්ගේ මීහරක් රසවින්දනය හා අපේ උසස් රසවින්දනය...

මේ ලියන්න යන සටහනෙන් කාගේ හෝ හිත රිදීමක් වෙයි නම් සමාව ඉල්ලන අතර හිතට එන අදහස් ටිකක් පාලනයකින් තොරව ලියා තැබීමකි...තවද මෙය සාධාරණිය කරනය කිරිමට යාමක් නොව පහල මධ්‍යම පාන්තිකයකුගේ ඇසින් දැකීමක් වන අතර මම වැරදි,නිවරදි බව තීරණය කිරීම ඔබට භාරය..

උන්ට ඇත්තේ මී හරක් රස වින්දනයකි..
උන් කියවන්නෙ සුජීව ප්‍රසන්න ආරච්චිගේ,එඩ්වඩ් මල්ලවආරච්චිගේ බොලද පොත්ය..අපි කියවන්නේ ලියෝටොස්ටෝයිගේ,මැක්සිම් ගෝර්කිගේ පොත්ය..
උන් අහන්නෙ අජිත් මුතුකුමාරණගේ,චාමර වීරසිංහගේ සිංදුය..අපි අහන්නෙ අමරදේවයන්ගේ,කේමදාස මාස්ටර්ගේ සිංදුය..
උන් බලන්නෙ හින්දි චිත්‍රපටි,රන්ජන්රාමණයකගේ,ටෙනිසන් කුරේ චිත්‍රපටිය..අපි බලන්නේ ඔස්කාර් සම්මාන ලබපු ඉංග්‍රීසි ච්ත්‍රපටිය,ස්ටීවන් ස්පීල්බර්ගේ ෆිල්ම්ය..
උන් බලන්නේ සිරසය,සුපර්ස්ටාර්ය,මහගෙදරය..අපි බලන්නේ ජාතික රෑපවාහිනියය,කරැවල ගෙදරය..
ඒ නිසා උන් මෝඩ මීහරක්ය..උන් අපි බලන දේවල්,අහන දේවල්,කියවන දේවල් කරන්නේ නැත..ඒ නිසා උන් මෝඩය,ගොන්නුය,මීහරක්ය..අපි සෑබෑ බුද්ධිමතුන් වෙමු..

රසවින්දනය වර්ග කල හැකිද?
උසස් රස වින්දනයක් හා පහත් රසවින්දනයක් කියා දෙයක් තිබේද?
තමා නොකරණ දේ නොකල පමණින් මිනිස්සුන් මීහරක්,ගොන්නු,මෝඩයෝ වෙනවාද?

"මොන දේකින් හෝ අවශ්‍ය සංවේදී බවය..කෙනෙකු අඩනකොට ඇඩෙන ගතියය,හිනාවෙනකොට හිනා වීමය,සරල තේරේන වචනටිකකින් හෝ සමාජය විවේචයය.."

දවස තිස්සෙම ගාමන්ට් එකේ මැෂින් එක පාගල පීඩනයෙන් ආතතියෙන් එන කොල්ලාට කෙල්ලාට, නොතේරෙන විදියට ලියලා තියෙන යටලීයෙන් නාරිලතා මල් පූදීයි අහනවට වඩා අජිත් මුතුකුමාරණගේ සරල තේරෙන සිංහලෙන් ලියල කියන දේ ඇගට දැනෙයි..ඒවා අහන එක වරදක්ද?

භාවිතයේ නැති විකාර වචන උඩින් යටින් මැදින් ගහලා පොතේ අවසාන ටික කියවගෙන යනකොට මුල් පිටු ටිකේ හිටිය නම්ගම් අමතක වෙන තරමේ පොත් කියවනවට වඩා සරල භාවිතයේ ඇති වචන වලින් ලියලා තියෙන ඒවා කියවන එක වරදක්ද?

බල්ලෙක් වත් ගනන් ගන්නෙ නැතිව ඔහේ පාවෙන තරැණයෝ,තරැණියෝ හැකියාවක් තිබුනත් නැතත් යම්තමින් හෝ කැපිලා පෙනෙන්න තමාට ඇතැයි කියන දක්ෂතාවය උරගා බලන්න රියලිටි වැඩසටහන් වලට යාම වරදක්ද?

තුන්සිය හැටපස් දවසෙම පිරිමින්ගේ තාඩන වලට යටත්වෙලා,කුස්සියට වෙලා ඉන්න ගැහැණු ඉන්දියාවේ ප්‍රවිනාලා,ච්ත්තිලා ටෙලිනාට්‍ය වල හෝ වීරයෝ වෙන ඒවා දිහා බලන එක වරදක්ද?

දුප්පත් කමෙන්,නැති බැරි කමින්,නොහැකියාවෙන් පෙලෙන ගැහැණු පිරිමි,වානිජ හෝ ඉන්දියානු චිත්‍රපටිවලින්,ටෙලිනාට්‍ය වලින් ෆැන්ටසි ලෝක වල,හීන ලෝක වල අතර මං වී සතුටක් ලැබීම වරදක්ද?

කොටින්ම රසවින්දනය ඉරක් ගසා වෙන්කර උසස් රසවින්දනය හා මී හරක් රසවින්දනය කියා වෙන් කල හැකිද?
"ලෝකයේ හොද නරක මෙන්ම රසවින්දනයත් සාපේක්ෂය..එය උසස් හෝ පහත් කියා වර්ග කල නොහැකිය.."

(ඉහත සටහන මා බ්ලොග් කියවන්න පැමිණිදා ඉදන් මී හරක්,මෝඩයෝ,ගොන්නු වෙන සමාජ චරිතන් වෙනුවෙන් ලියා තැබූවකි..
සමහරෙකුට අනුව නොතේරෙන සිංහලෙන් වචන පටලවලා විකාර,බහුභුත ලියන ඔබලා මී හරක්,මෝඩයෝ,පිස්සො විය හැක..එම නිසා වචන භාවිතයේදී දෙපාරක් හිතන මෙන් ඉල්ලා සිටිමි..
නමුත් එක දෙයකට ඔබලාට විරැද්ධ විය හැක..ඒ ඉහත දේවල් සමග එන නව අධිරාජ්‍යවාදි ගෝලියකරණ සංකල්පයන්ටය..සමහර විට ඒවා එන්නේ එම වැඩසටහන් සමග නොව ඒවාට අනුග්‍රහය දක්වන වෙලද සමාගම්,වෙලද දැන්වීමි හරහා විය හැක..එය ගැන පසුව බ්ලොග් සටහනක් ලිවිමට බලාපොරොත්තු වෙමි..)

6 comments:

  1. niyamai machan. godak ewun hithagena inne damith asanka,chamara wage ayage sindu ahanne modayo kiyala. un hithagena inne un thama porawal.

    well said !

    ReplyDelete
  2. සරල දෙයක් රස විඳින්න නොදන්නා අයට රසඥතාවයක් තිබිය හැකිද? විවේචකයා සහ ගරහන්නා සපුරා වෙනස්ය.

    ReplyDelete
  3. ඔබ කියනා ආකාරයට රසවින්දනයට උස් පහත් බවක් දක්වන්න බැහැ කියන ඇත්ත. ඕනෑම අයෙකුට තමන්ට කැමති රසවින්දනයක නිරත වීමට නිදහසක් තියෙනවා වගේම එහි අයිතිය අනෙක් අය පිළිගත යුතුයි. එතනදි ප්‍රබුද්ධ රසවින්දනය හා පහත් රසවින්දනය කියන එක හරිම විවාදසම්පන්නයි. එහිදි සමාජයේ උසස් යැයි කියාගන්නා පිරිසක් අනෙකුත් සියළු කලාවන් නොසලකා තමන්ගේ දේ හොදයි කියා කියනවා. එහිදි කිසියම් ආකාරයට අධිපතිකමක් දැකගන්න පුළුවන්.නමුත් රසවින්දනයේ පරාසය කියන්නේ තවත් එකක්. එහිදී සාහිත්‍යමය රසවින්දනයේ මෙන්ම විෂයක් ලෙස වඩාගැඹුරු තලයකට යාමක් දැක ගන්න පුළුවන් . එහෙම වුනා කියලා සරල රසවින්දනය පහත් කරලා සළකන්න කෙනෙකුට බෑ. ජනගී, හා පැරනි සම්භාව්‍ය සාහිත්‍ය මිට උදාහරනයි. තත්ත්වය මෙසේ වුවත් වෙළදපොල ආගමනයත් එක්ක සියළු දේ මුදල් මත තීරනය කරන්න ගියවිට රසවින්දනය කියන එක මුදල් මත දියවෙනවා. විශේෂයෙන් මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය නිසා මිනිසුන්ට නිර්මාණය බලෙන් එබ්බවීමට බලකරනවා.මුදල් දී මාධ්‍ය තුල ගීත ප්‍රචාරය කරන්නේත් ගායක ගායිකාවන් මාධ්‍ය අතර බෙදීමකට ලක්කරන්නේත් මේ තත්ත්වය ය‍ටතේයි.මෙහිදී සිදුවන්නේ වෙළද භාන්ඩයක් නිෂ්පාදනය කිරීම මිස සාහිත්‍යමය නිර්මාණයක් සිදුකිරීම නොවේ.නමුත් කෙනෙක් තමන්ගේ සාහිත්‍ය නිර්මාණය වෙළදභාන්ඩයක් බවට පත්කරගැනීම ගැන මේ සමාජයෙදී සලකාබැලිය හැකි දෙයක්.
    ඔබ විසින් බොහෝ කාරුනිකව ආමන්ත්‍රණය කර ඇති රන්දෙපැයේ විද්‍යාත්මක පසුබිම සහිත විමර්ශනයක් මාවිසින් ලියා තිබෙනවා.
    ඔබේ අදහසට අනුව රසවින්දනයට උසස් පහත් බවක් නොමැති බව මාද පිළිගන්නා නමුත් වෙළදපොල ආක්‍රමනය සදහා සිදුකරන පහත් ක්‍රියා විවේචනාත්මකව බැලිය යුත්තක්. එතනදි පේන දේට වඩා එහිපසුපෙළ පිළිබද විමසිලිමත් විය යුතුබව මාගේ හැගීමයි.මේ සියළු දෑහි අවසානය මනුෂ්‍යත්වය, සමානාත්මතාව පිරි ලෝකයකට සාපේක්ෂව උසස් පහත් බව මැනිය හැකි බවයි මගේ අදහස...

    ReplyDelete
  4. උසස් හෝ පහත් කියා රසවින්දනය බෙදීමට හැක. එය අමාරු කාර්යක් නොවේ. නමුත් උස් පහත් බේදයක් ගෙනත් අසාධාරන විදියට බැන වැදීමට හෝ පහත් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත.

    උදා: ලෝකයේ ඕනෑතරම් ඇදුම් වර්ග තිබේ. සමහරු පිටකොටුවෙන් 150ට ගන්නා කමිසයට වඩා ඉතා උසස් වර්ගයේ කමිසයක්, කෙනෙකුට ODEL එකෙන් ගත හැක. කමිසයේ වර්ගයේ වෙනසක් ඇත. තත්වයේ වෙනසක් ඇත. දිගුකල් පැවතීමේ වෙනසක්ද ඇත. නමුදු දෙකම ලැජ්ජාව වසාගැනීමට හඳිනා දෙයකි. ඒ නිසා කිසිවෙකුත් එකට නිග්‍රහ නොකල උතුය. විය යුත්තේ කවදාහෝ හොඳ කමිසයක් මිලදී ගැනීමට අදිටන් කරගැනීමය. නැදුව බැනවැදීම නොවේ.

    ReplyDelete
  5. ලිපියෙන් මතුකරන අදහස වැදගත්.සරල රසවින්දනය කියන එක ජනසමාජය ඇතුලෙ අනිවාර්යයෙන් පවතින දෙයක්.ඉතාම පැරනි සමාජවලත් අදත් හෙටත් ඒක එහෙමයි.නිරපේක්ෂව ඒක පහත් කොට අයින් කිරීම අනුමත කල නොහැකියි.ඒක හරි.
    හැබැයි කලාව කියන විෂය ගත්තම ඒක ඇතුලෙ කලාත්මක මිනුම් දඩු තියනවා.ඒ මිනුම් දඩු ගැන පූර්න වාස්තවික/පොදු එකගතාවයක් ඇති කරගැනීමට බැරි බව ඇත්ත.නමුත් සාර්ථක කලා නිර්මානයකින්(ඔබට අනුව "උසස්"කලා නිර්මානයකින්)එහෙම ‍නොවන එකක් වෙන්කරල හදුන ගන්න මේ මිනුම් දඩු යොදාගන්න පුලුවන්.
    දැන් උදාහරනයක් විදිහට
    "සක් දෙව් රජින්දා සත දහයක් ඇහින්දා
    බීඩි බොන හින්දා ඒක ගත්තා උගෙ නැන්දා" කියන එකත් කවියක්.ඒ වගේම සැලලිහිනියේ-"වලදන අදහසින් මෙන් සුරගග අගන නල බල සසල දල රල පෙල නුබ නැගෙන"කියන එකත් කවියක්.හැබැයි මේ දෙකේ වෙනසක්/නිර්මානාත්මක පරතරයක් පවතිනවා.අනුප්‍රාසය,ශබ්දාලංකාරය වගේ දේ ආශ්‍රිත මිනුම් දඩු ඒවා විමසන්න පාදක කරගන්න පුලුවන්.
    සරල රසවින්දනය පැවතිය යුතු වුවත්/පවතිනවා යන්න සත්‍යයක් වුනත්,කලාව කියන විෂයේ ප්‍රගමනය රැදෙන්නේ නිර්මානාත්මකව හා ගුනාත්මකව උසස් නිර්මාන වල බිහිවීම මත.

    ReplyDelete
  6. ඇත්තටම මෙය සටහන ලියන්න හේතු වුනේ බ්ලොග් කියවනයේ සරල ගීත,වානිජ ච්ත්‍රපටි,සිරස,සුපර්ස්ටාර්ස්,රන්දෙපැය ආදී නොයෙක් මාතෘකා යටතේ සටහන් වලදී ඒවා නරඹන අයට ඉතා පහත් ලෙස මෝඩයෝ,මී හරක් ආදී වදන් වලන් පහත් ලෙස අපහාස කිරීම නිසාය..
    මම හිතන හැටියට කෙනෙකුගේ කැමැත්ත රසවින්දනය රැදිලා තියෙන්නෙ ඔහුගේ/ඇයගේ අධ්‍යාපනය,ආර්ථිකය,ඔහු/ඇය එවෙලේ ඉන්නා මානසික සිතුවිල්ල ආතතිය,රසවිදින කාලය,ඔහුගේ දේශපාලනය,රටේ ලෝකේ දේශපාලය හා විශේෂයෙන් පරිසරය ආදී බොහෝ කාරණ කිහිපයක එකතුවකින්..එහි ප්‍රථිපලයක් ලෙස උසස් හෝ පහත් මොන විදියේ කලා කෘති ආශ්‍රය කලත් ඔහු/ඇය යම්කිසි රාමුවක තමාට ගැලපේයැයි,කැමතියයි සිතන දේවල් බහුලව නැරඹීමට,කියවිමට,ඇසීමට පෙලෙඹේ..
    පාලිත ‍පවසන පරිදි මම හිතන්නෙත් විය යුත්තේ දෙයක් නැරඹුපමණින් පහත් හෝ උසස් යැයි වර්ගීකරණයකට ලක් කර අපහාස කිරීම නොව එහි දේශපාලනයට ආර්ථික කාරණාවලට සංවේදී වීමය..විශේෂයෙන් 21 වනසියවසේදී ලෝකයේ ආර්ථික දේශපාලන බලතුලන වෙනසේදී ඉන්දියාව ඉදිරියෙන් සිටින නිසා ඉන්දියානු සංස්කෘතියේ,කලාවේ,ආර්තිකයේ සමහර දේවල් ඉන්දියාවට අල්ලපු රටේ ඉන්න අපිට බලපැම අරැමයක් නොවිය හැක..ලංකාවේ පමණක් නොව මෙවැනි ඉන්දියානු ටෙලිනාට්‍ය මැදපෙරදිග හා ඇතැම් අග්නිදිග ආසියානු රටවල්ද ආක්‍රමණය කර ඇත..ජපන් හා කොරියානු නාට්‍යද මේ හා සමානව පැතිරෙමින් පවති..

    ReplyDelete